සත්‍ය සිදුවීම් ඇසුරින් මෙම ලිපි සකස්‌වන නමුදු මෙහි සඳහන් වන නම් ගම් සියල්ල මනඃකල්පිත ය. ජීවත්ව සිටින හෝ මියගිය කිසිවෙකු අපකීර්තියට ලක්‌කිරීම සඳහා නොව හුදෙක් සමාජය දැනුවත් කිරීමේ පවිත්‍ර ෙච්තනාව ම පෙරදැරි කරගෙන මෙම ලිපි පෙළ ලියමි.
සාරංගත්, විරංගත් සම වයස් නිවුන් දරුවෝ ය. ඔවුන් දෙදෙනාගේ මවත්, පියාත් රැකියාව සඳහා නිවසින් බැහැර වැඩිපුර ම කාලය ගතකරන බැවින් නිවසේ ඇත්තේ දැඩි පාලු බවකි. පාසල් කාලයෙන් පසුව නිවසට එන මෙම දරුවන් දෙදෙනා ගැන කිසිවෙකුගේ වැඩි අවධානයක් යොමු වන්නේද නැත. ඉඳහිට නිවසට පැමිණෙන ආච්චි අම්මා හැරුණු විට වෙනත් ආගන්තුකයෙකු මුණ ගැසීම ඔවුන්ට සතුටක් වීම අරුමයක් නොවේ.
ගෙමිදුලෙහි බැඩ්මින්ටන් ක්‍රීඩාවේ යෙදී සිටි දරුවන් අසලට අමුත්තෙකු එමින් සිටියේ ය. ඔහු ආවේ යාබද නිවසේ සිට ය. "කවුද දන්නෙ නෑ නේද?" දෙදෙනා රහසේ කතා කළහ."අන්න එයා මේ පැත්තට එනවා" දැක්‌කෙ නෑ වගේ ඉම්මු." දෙසොහොයුරෝ නිහඬ වූහ. ආගන්තුක තරුණයා තාප්පය අද්දරට පැමිණ ඔවුන් දෙදෙනා ක්‍රීඩා කරන අයුරු බලා සිටින්නට විය.
"ඕ... වෙරි නයිස් ෂොට්" එක් දර්ශනීය පහරකට අමුත්තා සතුටින් අත්පොළසන් දෙමින් කෑගැසී ය. "තෑන්ක්‌ස්" පහර එල්ල කළ සාරංග අමුත්තාගේ ඔල්වරසන් දීම ගැන ස්‌තුතිවන්තව ප්‍රකාශ කළේ ය. "මල්ලිලා බැඩ්මින්ටන් ප්ලේ කරනවා දැකලයි මං මෙතෙන්ට ආවෙ. ෂිහ්ඃ මෙහේ වස කම්මැලියිනෙ.ඔහු කාගේ කවුදැයි දැනගැනීමේ කුහුලක් ළමුන්ගේ සිත් තුළ මෝදුවෙමින් තිබිණි."මීට ඉස්‌සර අපි අයියව දැකලා නෑ ඔයා කොහේ ඉඳලද මෙහාට ආවෙ...? " විරංග ඔහුගෙන් ප්‍රශ්න කළේ ය.
"මං ආවෙ" "ෆ්රාන්ස්"වල ඉඳලා." "කොහෙයි කිව්වා...? "ඇයි? අහල නැද්ද? මේ ලෝකෙ "ප්‍රංශය" කියලා රටක් තියෙනවා. මං ඉන්නෙ ඒ රටේ "පැරිස්" නගරෙ. " "ආ... ඇත්තද? එහෙ ඉන්නකොට අයිය මොනවද කළේ? "මං කළේ මොනවද කියලා නෙවෙයි, නොකළේ මොනවද කියලයි අහන්න ඕන." "හොඳයි අපි එහෙම ඇහුවයි කියලා හිතන්න." තරුණයා උස්‌හඬින් සිනාසෙන්නට විය.
"අයියා කවුද කියලා තාම අපට කිව්වෙ නැහැනෙ? ඔයා මෙහෙ බෝඩ් වෙලාද ඉන්නෙ? " "අපොයි නෑ මේ මගේ වයිෆ්ගේ ගෙදර. අපි මෙහේ නැති නිසා එයාගේ අම්මා බෝඩර්ස්‌ල දාගෙන ඉන්නෙ. කවුරුවත් නැති වුණාම ගේ පාලුවෙනවනෙ. "
එම කතාබහ සිදුවෙන අතරේ රූබර කාන්තාවක්‌ද ඔවුන් අසලට පැමිණියා ය. ඈ ආවේ හිස් අතින් නොවේ. පැරිසියෙන් රැගෙන එන ලද රසකැවිලි පාර්සලයක් හා ඇපල් ගෙඩි කිහිපයක්‌ද ළමුන් වෙතට ඇයගෙන් පිරිනැමුණි. "මල්ලිලා මෙහාට ආවෙ ළඟදිලු. නේද?" ඇය සුහදශීලීව දරුවන්ගෙන් විමසුවාය."කවුද අක්‌කට කිව්වෙ?" "අපේ අම්ම මට සේරම විස්‌තර කියලා තියෙන්නෙ. ඔයාලගෙ අම්මයි, තාත්තයි වැඩට යනවලු. ආච්චි නේද ඔය දෙන්න බලාගන්නෙ?" "අපෝ බලාගන්න අපි පොඩි බබ්බුද?" "බබ්බු නෙවෙයි කියලා පේනවා. ඇත්තටම ඔය දෙන්නගෙ වයස කීයද? ඔයාල ට්‌වින්ස්‌ලලු, නේද? "හොඳයි අක්‌ක කියන්නකො අපේ වයස..." "ම්... අවුරුදු දාහතරක් විතර...?" "හී හී වැරදියි.. තාම එච්චර නෑ" ඒ අයුරින් ඔවුන් අතර මිත්‍රත්වය ඇරඹිණි.
ඉනික්‌බිති දිනපතා ම ඉඩක් ලත් ඇසිල්ලකින් සාරංගත්, විරංගත් යාබද නිවස වෙතට දිව යාමට පුරුදු විය. එහි ඔවුන්ගේ සතුට වඩවන ආම්පන්න හා කැවිලි පෙවිලි බොහෝ තිබිණි. ඔවුන් කිසිදා රස නොවිඳි එවන් කෑම බීම වර්ග පමණක් නොව නොයෙකුත් මාදිලියේ වීඩියෝ දර්ශනද නැරඹීමට එම නිවසේදී අවස්‌ථාව උදාවිය. අළුත් මිතුරාත් ඔහුගේ බිරිඳත් ටිකෙන් ටික මේ පුංචි මිතුරන් දෙදෙනා තම ග්‍රහණයට නතුකර ගනිමින් උන් වග කිසිවෙකු දැන සිටියේ නැත. රැකියාව සඳහා උදෑසනම නිවසින් පිටවී යන ඔවුන්ගේ මවත්, පියාත් ආපසු එන්නේ රෑ අඳුරත් තුරුලු කරගෙන ය. පියාගේ, මවගේ දොර වැඩ පලක් කර තබා හැන්දෑවන විට තම දුවගේ නිවසට යයි. ඒ නිසා දරුවන් දෙදෙනා ගැන සොයා බලන්නට ඔවුන් තිදෙනාට ම නිස්‌කාංසුවක් නොතිබිණි.
"තාත්තේ අල්ලපු ගෙදර අයියයි, අක්‌කයි දෙන්නා රට ඉඳලා ඇවිල්ලා ඉන්නවා. ඒ ගොල්ලො හරී හොඳයි. කිසිම ආඩම්බර කමක් නැහැ. ඒ අයියා මෙන්න මේක තාත්තට දෙන්න කිව්වා.
දවසක් සැඳෑවේ යාබද නිවසේ තරුණයා දුන් පාර්සලයක් දරුවන් දෙදෙනාගේ පියාට තෑගි ලැබුණි. වහා එය විවෘතකර බැලූ පියාගේ දෑස් දිලිසෙන්නට විය. එය ඉස්‌තරම්ම වර්ගයේ මත්වතුර බෝතලයකි. "ෂාහ්ඃ මරුනෙ පුතේ... ඒ අයියට වැඩි වැඩියෙන් හම්බවෙන්න ඕන." පියා සතුටින් ඉපිළගියේ ය. පසුවදා යාබද නිවසේ තරුණයා එම දරුවන්ගේ නිවසට ගොඩ වැදුණේ තවත් එවැනිම රටබීම බෝතලයක් පමණක් නොව රසවත් කට ගැස්‌මක්‌ද පිළියෙල කරගෙන ය. "ආ... එන්න එන්න මහත්තයා." අපේ පුතාල කියනවා නෝනයි, මහත්තයයි දෙන්න හැම තිස්‌සෙම ඒ ගොල්ලන්ට කතා කරලා කෑම බීම ජාති හෙම දෙනවයි කියලා.අපට නම් ඔය රටකෑම බීම ගන්න තරම් වත්කම නැහැ මහත්තයො. දැන් මේ රටේ ජීවන වියදම අහස උසට නැඟලා තියෙන්නෙ. අපි දෙන්නම හම්බ කරලත් ඉතුරුවක් නැහැනෙ....."
"ඒ හින්දම තමයි අපිත් රට ගියේ." "එහෙනම්, මහත්තයලා දිගට ම පිට රට ජීවත් වෙන්නද හිතාගෙන ඉන්නෙ?" "ඔව් එහෙ පදිංචිය තහවුරු වුණාම අපට හුඟක් දීමනාවල් ලැබෙනවා. මේ සැරේ ආවෙ මෙහෙ තියෙන දේපොළ විකුණලා, අම්මත් එක්‌කරගෙන ම යන්න හිතාගෙනයි. "මටත් දැන්" හිතිලා තියෙනවා මහත්තයො මොකක් හරි රස්‌සාවකට රට යන්න තියෙනවා නම් හොඳයි කියලා. කාණු හෝදන්න හරිකමක් නැහැ. මේ දරුවන්ට හිතේ හැටියට කන්න දීල, ඉගෙනගන්න වියදම් කරන්නත් මදි අපේ ආදායම. එච්චරද? ගෙවල් කුලී, ලයිට් බිල්, වතුර බිල්, ලෙඩ දුක්‌වලට, දෙමව්පියන්ට සලකන්න, තව කීයක් නම් වියදම් තියෙනවද? මේ ප්‍රශ්න අමතක කරන්න සෑහෙන්න බොන්න ඕන"රට බීම බෝතලය කඩා සප්පායම් වන අතර ඔවුන් දෙදෙනා දිගු කතාබහකට අවතීර්ණ වූහ.
එම නිවැසි කාන්තාව ඇඟළුම් කම්හලක සේවිකාවකි. ඈ කම්හලේ සිට පැමිණියේ මේ අවස්‌ථාවේදී යි. "ඔන්න මහත්තයා, දැන් තමයි මගේ වයිෆ් ගෙදර ආවෙ. දන්නෙ නැද්ද? ගාමන්ට්‌වල ටාගට් කරනවනෙ. ඉතිං රීරි මාසෙ දීලා තමයි ලැබෙන ගතමනාවට සොච්චමක් වැඩිකරගන්නෙ." සැමියා තම බිsරිඳ ගැන විස්‌තර කියද්දී යාබද නිවසේ තරුණයාගේ දෑස ඇගේ හැඩරුව ගැන විමසිලිමත් විය. දරුවන් වැදූ මවක වුවද තවමත් ඈ වෙතින් යොවුන් රූසිරි පලාගොස් නොතිබිණි. "දැනට වැඩකරන තැන පඩි මදි නම් මේ අක්‌කට ඊට වඩා හොඳ ජොබ් එකක් මට පුළුවන් වෙයි හොයලා දෙන්න. ඔහු පැවසූ දෙය අදහා ගන්නට අපහසුවෙන් මෙන් බිරිඳ සැමියා දෙස බලා හිසගස්‌සා ගෙතුළට ගියා ය. "කොයි එකටත් මං අපේ නෝනටත් කියලා බලන්නම්කො. එයා අඳුනන මැඩම් කෙනෙක් ළඟදි රට ඉඳල ලංකාවට ආවා. ඉඩ තියෙන වෙලාවක එයත් එක්‌ක ගිහිං ඒ මැඩම් හම්බවෙලා කතා කරන්නට පුළුවන් අක්‌ක කැමති නම්."
නොසිතූ, නොපැතූ අයුරින් තමන්ගේ ඇසුරට පත්ව උදව් උපකාර කිරීමට ඉදිරිපත් වූ මෙම තරුණ යුවළ කෙරෙහි එම නිවැසියන්ගේ සිත් සතන් තුළ ඇති වූයේ ගෞරව පූර්වක ළබැඳියාවකි. දින, සති, මාස ඉකුත් වී කාලය ගත වී ගියේ නොදැනුවත්වම ය. තමන් ගත කළ අගහිඟවලින් යුත් ජීවිතය පරිපූර්ණත්වයට පත්කළ යාබද නිවැසියන් ආපසු නොඑන්නටම විදෙස් ගතවන්නට යන පුවත කල් තියා දැන සිටියත් එම දිනය ළඟා වෙද්දී සාරංග හා විරංග ඇතුළු පවුලේ අයට දරාගන්නට බැරි කාංසියක් දැනවීය.
ඔවුන් මෙරටින් පිටවී ගියේ සාරංගලාට බොහෝ දෑ තිළිණ කොටය. නමුත්, තවත් දෙයක්‌ද ඊට අමතරව ලැබී ඇතිවග දැනගන්නට ලැබෙන විට අශ්වයා ඉස්‌තාලය හැර පියා පළා ගොස් ය. සාරංගට හා විරංගට පමණක් නොව ඔවුන්ගේ මවටද මේ වනවිට ඉතා කණගාටුදායක තත්ත්වයකට මුහුණ දීමට සිදු වී තිබේ. ඔවුන්ගේ නොදැනුවත්කම නිසා තිදෙනාටම සමාජ රෝග වැළඳී ඇතිවග තේරුම් ගන්නා විට නැවතත් හදාගන්නට බැරි තරමට සියලු වැරදි සිදුවී හමාර ය. දැන් එම පවුලේ පියා ද සමාජ රෝග අවදානමට ලක් වී ඇත. මොවුන් මීට වඩා දැනුවත්ව සිටියා නම් මෙවන් ව්‍යසනයකට ගොදුරු නොවන්නට ඉඩ තිබුණු වග දැන් වටහාගෙන පලක් වේද? තමන්ගේ ජීවිත අභ්‍යන්තරයට බලෙන් ඇතුළු වීමට කිසිවෙකුට හෝ ඉඩ නොදීමට මෙය අපටත් හොඳ පාඩමකි.
සෝමා ටී. පෙරේරා
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment